Posted by: quantumx | July 26, 2009

සිවු හෙළ වංශ කතාව – part 1

සිවු හෙළ වංශ කතාවට පෙරවදනක්.

ආර්යයන්ගෙන් සිංහලයින් පැවතෙන බවත්, විජය රජ ඇතුලු ආර්යයන් සත් සියයක් සේනාව සමඟ තම්බපන්ණියට ගොඩ බැස ලංකා ශිෂ්ටාචාරය ආරම්භ කළ බවත්, අපට පාසැලේ දී උගැන්වූ විට එය ගිරවුන් මෙන් කට පාඩම් කල බව අපි දනිමු.
ඊට අමතරව විජය රජ, බැල්ලක විසින් මඟ පෙන්වන ලදුව, කපු කටිමින් සිටි කුවේනිය සරණ පාවා ගෙන ලංකාව පාලනය කල බවත්, විජයගේ සේනාව විසින් අනුරාධගාම, උපතිස්සගාම වැනි නගර පිහිටුවා ගත් බවත්, ගෝකණ්න, මහාතිත්ථ වැනි නැව් තොටුපොළවල් පිහිටවූ බවත් අපි උගත්තෙමු.

ඉහත කරුණු වල සත්‍ය අසත්‍යතාවය ප්‍රශ්න නොකරම මිනිසුන් වළැඳ ගන්නේ ඒවා සඳහන් වන පොත පත පිළිගන්නා ලෙසට අපගේ මානසීකත්වය කුඩා කල සිටම සැදී තිබෙන බැවින් විනා විචක්ශණව තර්ක කර නොවන බව කනගාටුවෙන් වුවද පිළිගත යුතු ය. සැබැවින්ම සිදු වූයේ කුමක් ද? ආර්යයෝ යනු කවරහු ද? විජය ඇත්තෙන්ම ලංකාවට පැමිණ තිබේද? පැමිණියා නම් එතැනින්ද සිවු හෙළ ශිෂ්ටාචාරය ආරම්භ වුනේ? විජය ආක්‍රමණයට පෙර සිවු හෙළයන්ට ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනේම නැද්ද? සිවු හෙළයන් යනු ආර්ය සම්භවයක් ඇති, එම නිසාම ඉන්දීය සම්භවයකින් හෙබි පිරිසක් ද? විජය එනවිට කුවේනිය කපු කටිමින් සිටියේ කුමකින් ද? කුමක්ද අපිට උරුම අපේම අනන්‍යතාවය? කුමක්ද අපට තිබුනු තාක්ශණය?

එකී මෙකී සහ ඇතැම් නොකී ඓතිහාසික කරණු වල සත්‍ය අසත්‍ය තාවය සොයනු වස් කරනා විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක සහා සමාජ විද්‍යාත්මක ගවේශණයක ආරම්භය මෙසේ සටහන් කරමි.

මෙම ලිපි පෙළ නිර්මාණය වනුයේ විවිධ ලේඛකයින් විසින් දශක ගණනාවක් මුළුල්ලේ කරන ලද විද්‍යාත්මක සහ සමාජ/ පුරා විද්‍යාත්මක පර්යේශණ සහ අපේ ප්‍රවාද තුලින් බව මතක් කර සිටිමි. මෙය ඕනෑම වැඩිහිටි කෙනෙකුට වුවද කියවා තේරුම් ගැනීමට පහසු සරළ බසකින් ලියුවද, අ.පො.ස සා/පෙළ සහ උ.පෙළ සිසුන් මෙහි ඇති කරුණු සහා ඉතිහාස පඬිවරුන් ලියූ පාසැල් පෙළ පොත් වල සඳහන් කරුණු පටලවා නො ගත යුතු ය. මන්ද යත්, මෙම ලිපි වල සඳහන් ඇතැම් කරුණු, පෙළ පොත් වල සඳහන් කරුණු වලට තරමක් දුරට පටහැනි බව මම දනිමි. විභාගය සමත් වීමට බේගල් දෙසා බෑව ද සැබෑ ඉතිහාසය දැන ගැනීම සිවු හෙළ අපගේ අනන්‍යතාවය රැක ගැනීමට ඉවහල් වන බවත්, එමඟින් ඇති වන ආත්මාභිමාණය සහ අපේ හැකියාවන් තේරුම් ගැනීම හේතු කොට ගෙන ඉදිරි අනාගතය සුභදායී, ස්වාධීන, දියුණු සහ යහපත් එකක් වනු ඇති බවත් මා හැඟි ඒකායන පැතුම යි.

මෙම ලිපි පෙලෙහි සඳහන් කරුණු හුදෙක් මෙහි සඳහන් වන නිසාම නොව, ඔබගේම මනසින් තර්කානුකූලව සිතා පිළිගැනීමට හැකි නම් පමනක් පිලිගන්නා ලෙස ඉල්ලමි.

අපගේ සැබෑ අනන්‍යතාවය සොයා යන ගමනේදී පිළිගත යුතු වැදගත් කරුණු 3ක් වෙයි.

1. බටහිර විද්‍යාවට ඔබ්බෙන් (beyond western science) දිවෙන අපට උරුම තර්කණ ශෛලියක් තිබෙයි.
බටහිර විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන්නේ ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය ය. එනම් පර්යේශණයක් තුලින් නිඟමණ වලට එළැඹීමට හැකි නම් පමණක් යමක් පිළිගැනීම හෝ යම් කිසි භෞතීක හෝ ස්පර්ශ කල හැකි (tangible) නියැඳියක් තුලින් පමණක් නිඟමණ වලට එළඹීම. මෙම, ඉතා තර්කානුකූළ ක්‍රමයේ වරදක් මම නොදකිමි. එනමුත් එහි අපටම ආවේණික වුනු ජන ප්‍රවාදයන්ට හිමි තැන අහිමි කර ඇත. එනම්, සිවුහෙළයන් ඔවුනට හිමි ජන ප්‍රවාද වල අඩංගු කරුනු, ඔවුනගේ බුද්ධියට ගෝචර වන්නේ නම්, පිළිගැනීමට පසුබට නොවිය යුතුය. උ.දා.: ගලේ බංඩාර දෙවියන්ට මාතලේ/ පොලොන්නරුවේ මිනිසුන් අදටත් වන්දනා මාන පුද කරනුයේ ජන ප්‍රවාද මඟින් ඒවා පැවත ආ නිසා විනා පොත පතක සඳහන් වූ නිසා වත්, විද්‍යාත්මක පර්යේශන මඟින් දේව අනුහස ඔප්පු කර ඇති නිසා වත් නොවෙයි. (මෙම ගලේ බංඩාර දෙවියන් යනු කවරෙක්ද යන වග ඉදිරි ලිපි වළින් විග්‍රහ කරමි). තව දුරටත්, බුදුන්ගේ දේශයේ ජීවත් වන්නේ නම් බුදු දහම පිළිගැනීමත් කළ යුතු ය. “යං භික්ඛවෙ, නත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං නත්ථිති වදාමි, යං භික්ඛවෙ, අත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං අත්ථිති වදාමි” – සංයුක්ත නිකාය, පුප්ඵ සූත්‍රය. එහි අර්ථය වනුයේ, “මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් නැතැයි සම්මත නම් මම ද එය නැතැයි කියමි. මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් ඇතැයි සම්මත නම් මම ද එය ඇතැයි කියමි”.

2. දහ හත සහ දහ අට වැනි සියවස් ලියැවුනු බටහිර ලේඛන සහ පොත පත දැඩි ලෙස ක්‍රිස්තියානිකරණය වීම.
අතීතයේ තිබුනු ප්‍රාථමීක විද්‍යාත්මක දියුණුව නිසා මිනිසා තමුනගේ මනසට ගෝචර නොවන සියල්ලම පාහේ දේව බලය නිසා සිදු වන බව සිතීය. (උ.දා.: අකුණු ගැසීම, වළාකුළු, ඉර, තරු). මෙම ‘දේව’ සහ ‘මැවුම්’ සංකල්පයන් පදනම් කරගෙන මධ්‍යකාලීන බහුතරයක් ලේඛකයන් යුදෙව් ක්‍රිස්තියානි මැවුම් සංකල්පය හමුවේ එල්බගත් ස්වරූපයක් ගත් බව මැක්ස් මුලර් වැනි ගත්කරුවරුන්ගේ ලේඛන වලින් පැහැදිලි වේ. එකල විද්වතුන්ගෙන් බොහෝ දෙනා ඉතිහාසඥයින් වත් පුරා විද්‍යාඥයින් වත් නොව මිශනාරී බලය හමුවේ බටහිර සංස්කෘතිය සහ සමාජ ක්‍රමය පතුරවාලීමට උත්සාහ දැරූ බටහිර හා යුදෙව් ක්‍රිස්තියානි ප්‍රවාහයේ ප්‍රධාන පුරුක් බව ෆ්රෝලි, රාජරාම් ඇතුලු විවිධ ලේඛකයින් විසින් වරින් වර පෙන්වා දී ඇත. මෙම හේතුව නිසාම, පහත තුන් වන කරුණ ගැනත් අප සැළකිලිමත් විය යුතු ය. (එකළ සිටි ස්වාධීන විද්වතුන්ට සාධාරණයක් ඉටු කරනු වස් ඕගස්ට් විල්හෙයිම්, හර්න් හම්බෝල්ට්, ආතර් ස්කෝපනෝර් වැනි අපක්ෂපාතී සාධාරණ විද්වතුන් සිටි බවත් අමතක නොකල යුතු ය).

3. ජීවය මෙලොව ඇති වුනේ ක්‍රි.පූ 4004 ට කලින් වීම.
ඉහත දැක්වූ දෙවන කරුණ මුල් කරගෙන, එකළ පොත පතේ සඳහන් වනුයේ මෙලොව ආරම්භ වුනේ ක්‍රි.පූ 4004 වන බවයි. මේ බව 1654 දී අයර්ලන්තයේ බිශොප් වරයෙකු දැඩි ස්ථාවරයක සිට පවසා ඇත. (ඔහු සඳහන් කර ඇති පරිදි, දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ, ක්‍රි.පූ 4004, ඔක්තෝබර් 23 වැනි දින පූර්ව භාග 9 ට ය.) ක්‍රි.ව. 1654 දී එතුමා කල මෙම නිවේදනයෙන් පසුව 17 වැනි සියවසෙන් පසුව ඉතා මෑත කාලයක් දක්වාම ලියැවුනු පොත පත ලෝකයේ ආරම්භය ක්‍රි.පූ 4004හි පිහිටුවයි. එනමුදු දැන් විද්‍යාත්මකව සොයා ගෙන ඇති කරණු අනුව අපට ගම්‍ය වන්නේ මෙලොව ආරම්භය ඊට ඉතාමත් කලින් සිදු වූ බවයි. එබැවින්, 17 හා 18 සියවස් වල ලියැවුනු ග්‍රන්ථ භාවිතයේ දී ඉතාමත් සැළකිලිමත් විය යුතු ය. එසේම, ලෝකය සහ මානව ශිෂ්ටාචාරයන් බිහි වුනේ ඊට කලින් (ක්‍රි.පූ 4004 ට පෙර) බවත් සාධක සහිත නම් පිළිගැනීමට මැලි නොවිය යුතු ය.

ඉහත කරුණු තුනටම පොදු කරුණ වන්නේ අප, අපගේ මතයන් දැඩි ලෙස බටහිර ආභාශිත කර ගැනීම යි. බටහිර විද්‍යාඥයින් පවා ඔවුන්ගේ මතයන් දහ නව වන සියවස තුළ දී නිවැරදි කර ගත්තද අපි තවමත් ඔවුන් විසින් ‘දායාද කළ’ වැරදි මතයන් තුළම එල්බ සිටින්නේ ඇයි?
ක්‍රිස්තියානි සභාව පවා අද පරිණාමය පිළිගනිත්දී, අපි තවමත් යුදෙව් අන්ධ කිතුනු භක්තික ආචාර්ය මහාචාර්යවරු එදා ලියූ දේවල් තුළම එල්බ සිටින්නේ ඇයි? එවැනි ලේඛන වල ආභාශය ලබා සහ ඒවා මූලාශ්‍ර කොට ගෙන ලියැවුනු මහාවංශයේ ‘ඇතැම් පරිඡ්චේද’ තුළම එල්බ සිටින්නේ ඇයි?

අපේ ශිෂ්ටාචාරය ගවේශනයේදී අපට අනෙකුත් ශිෂ්ටාචාර හැදෑරීම ද කල යුතුය. ඊලඟ ලිපියෙන් ලොවෙහි ආරම්භය සැකෙවින්, යුප්‍රටීස්-ටයිග්‍රීස් ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න, නයිල් නිම්න ශිෂ්ටාචාර සහ අනෙකුත් පුරාතන ශිෂ්ටාචාර ගැන සළකා බලමු.

ස්තූතියි.

ධනුෂ්ක ද සිල්වා [විද්‍යාවේදී, විද්‍යාපති], තොරතුරු සහ සන්නිවේදන තාක්ශණ අංශය, දකුණු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය.

මූලාශ්‍ර:
Giri, S B V 2000, ‘The Myth of Aryan Invasion’.
Frawley, D, ‘Gods, Sages and Kings’.
Rajaram, N S, ‘Aryan Invasion of India: The myth and the truth’.
Agraval, D, ‘Aryan Invasion/ Race theory’, Penn State University, The USA.

පසු වදන:
මෙම ලිපි පෙළ කිසිම ආගමකට, ජාතියකට හෝ රටකට නිග්‍රහ කිරීමට ගන්නා වෑයමක් නොවන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි. තවද මෙම ලිපි පෙළ විවෘත මනසකින් යුක්තව කියවන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

මෙම ලිපි පෙළ නිර්මාණයේදී නන් අයුරින් සහය පළ කල / කරන අමිල සොයුරාටත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදී පැහැදී සිටින මාගේ ජීවන සහකාරියටත්, නන් අයුරින් උදවු කල සොයුරු සොයුරියන් සියල්ලටත් හද පිරි ආදරය සහ තුති පුදමි.

මේක මම ලියලා අවුරුදු 2ක් විතර වෙනවා. මටත් අමතක වෙලයි තිබුනෙ. ඊයෙ පොතක් අදිද්දි අහුවුනා මේ කොළය. කිසි වෙනසක් නොකර එහෙමම ටයිප් කරල දැම්මා එහෙනම් හයිබර්නේට් වෙන්න කලින්.

එහෙනම් මම තාවකාලිකව පොඩි විරාමයක් ගන්නවා. (හයිබර්නේට්). සරසවියේ වැඩ ගොඩ ගැහිලා… ව්‍යාපෘති සහ කෙටි දැනුම මිනුම ප්‍රශ්න පත්තර සමඟ මාසයක් පමන දැඩි ලෙස නියැලෙන්න සිදුවෙනවා… කඩින් කඩ මිතුරන් බැලීමට අන්තර්ජාලයේ සැරිසැරුවත්, වැඩි කාලයක් ආයෙත් ඉන්න ලැබෙන්නෙ ඔක්තෝබර් මාසෙයේ අග හරියෙදි තමයි. එහෙනම් ජේසු පිහිටයි, බුදු සරණයි, උඹලාගේ හිතේ හයියයි, අතේ පයේ ශක්තියයි..!

(හදිසි අවස්ථාවක් හෝ, වෙනයම් ඕනිම අවශ්‍යතාවකට මට කතා කිරීමට අවැසි නම් කාරුනිකව මාගේ ප්‍රේමණීය භාර්යාව අමතා කරුන පවසනු මැනවි… :P)

කණ්නාඩි නොදා කවිය රස විඳින ලෙස ඉල්ලමි. යට තියෙන පින්තූරු 2ත් බලන්න.. සමානකමක් තියෙනවද?

බැට් පිති බෝල නැත අප හට අද උරුම
තුවක්කුවට බණ පොතකට අත යැවින.
පාට පාට මෝස්තරත් නැත අපට
කසා වතයි නිළ ඇඳුමයි අද අපට

සංසාරෙන් එතෙර වන්න
දෙමවුපියන් කියන ලෙසට
සිදුවුනි ආශා සිර කර
කසා වතක් පොරවාගෙන
ලොකු සාදුත් සමඟ යන්න

සංසාරෙන් එතෙර වන්න
කලින් සසරෙ දිවි ගෙවන්න
දෙමවුපියන් කියන ලෙසට
නිදහස් දිවියක් සොයන්න
සිදුවුනි ගිණි බටය ගන්න

දෙදෙනාගෙම රතු රුහිරය
බාහිර ආටෝපෙ යටින්
පොතයි – ගිණි බටයයි
පාලි ගාථයි – අණ විධානයි
කසා වතයි – නිල ඇඳුමයි
ලොකු සාධුයි – සේනාවිධායකයි

මැරෙනවා අපි මැරෙනවා
කුමක් කලත් අපි මැරෙනවා
අකැමති දෙයක් වුව කැමැත්තෙන් කරනා
පුංචි සාදු… ඔයත් වීරයෙක්
කොටි පැංචෝ… ඔයත් වීරයෙක්

මම ඉස්කොලේ ශිෂ්‍ය භටයෙක් (cadet) වෙලා ඉදපු කාලෙ නිතරම ගායනා කරපු බළකා ගීය මතක් වුනා…

සෑම කල් සැදී සිටින්නෙ සූදානමින්,
මාතෘ භූමියේ උදාර වූ නාමයෙන්,
පාලයේ නැගී තෙදින්, ජාතිකාභිමානයෙන්
ජීවිතේ වුවත් පුදා රටත් දැයත් රකිම්.

මේ අපේ දේශයයි, ධීර වීරයන් උපන්,
ධීරයින් තැනූ මගේ පෙරට පා තබවු,
දේශ භක්තියෙන් වෙලී දැයනුරාගයෙන්
ජීවිතේ වුවත් පුදා රටත් දැයත් රකිම්.

————————————————–

ආත්මාභිමානය = ආත්ම + අභිමානය

ආත්මාභිමානය කියන්නෙ මහ පුදුමාකාර දෙයක් තමයි නේද…
ඕක මට මතක් වුනේ මෙන්න මේ එලකිරි අඩවියෙ තිබුනු ත්‍රෙඩ් එක දැකලා. (http://www.elakiri.com/forum/showthread.php?t=106532)

පස්ස පැත්තෙනුත් හිනා යන්න ආවා අපේ මිනිස්සු කැපිලා පේන්න කරන විකාර දැකලා.😛

අපි වෙනුවෙන් අපි කියලා තමුන්ටම කියාගෙන ඒ මදිවට ආපු පෞද්ගලීක පනිවුඩත් දාල එතැන. LOL

මම මැරීගෙන ආගම් පස්සෙ නොගියට කවුරුත් දන්නවනෙ මට උපතින් ලැබුනු ආගම රෝමානු කතෝලික කියල. ඒ ආගමේ තියෙනව කියමනක් බයිබලයට අනුව : තමුන්ගේ දකුනු අත යම් කිසි හොදක් කලොත් ඒක වම් අත දැනගන්න ඕනෙ නැහැ කියල. එයින් ගම්‍ය වන්නේ තමුන් විසින් යම් හොද දෙයක් කලොත් ඒක වෙනත් කිසිම කෙනෙක් දැනගත යුතු නැහැ කියන එකයි.

එහෙත් ආත්මාභිමානය රැකගැනීම සදහා අද කාලේ ගොඩක් අය පොඩි හෝ හොඳක් කලොත් ලොකු අඬ බෙරයක් ගහනවා ඔක්කොම අයගෙ දැනගැනීම පිනිස…  කොටින්ම ජාතිකාභිමානය යොදාගන්නවා ආත්මාභිමානය රැකගන්න!

අද කාලේ වැඩිම මිලකට වැඩියෙන්ම විකිනෙන්නේ මොකක්ද කියල යමෙකු ඇසුවොත් දිය හැකි හොදම පිලිතුර කුමක්ද? අනිවාර්යයෙන්ම ජාත්‍යාලයයි. ජාතියට ඇති ආදරයට මිලක් දිය නොහැකි බැවිනුයි ඒ. එනමුත් පටු දේශපාලන සහ පෞද්ගලීක වාසි තකා අද කාලේ වැඩිම මිලකට හැකි සියලුම දෙනා විකුනන්නේ ජාත්‍යාලය නොවේද?

අතිගරු මහින්ද රාජපක්ෂ ගෙන් පටන් ගෙන ලංකා බෙල්, ලාෆ්ස් ගෑස්, කාර්ගිල්ස් සහ දැන් DeLon පවා විකුනන්නෙ ජාත්‍යාලයයි.

M.I.A ගේ Paper Planes Diss youtube video පටය දුටු දවසේ දැඩි ලෙස මම DeLon ගේ එම ක්‍රියාව අගය කලෙමි. නමුත් ටික දවසක් යන විට යථාර්තය අවබෝධ විය. එම යථාර්තය වන්නේ, DeLon යනු සාමාන්‍ය මිනිසෙකු බවත්, ඔහුත් උත්සාහ කරන්නේ ඔහුට යම් කිසි ස්ථානයක් අන්තර්ජාලය තුල ලබාගැනීමට බවත්ය.

අපි දන්නා පරිදි youtube අඩවිය විසින් DeLon විසින් එලිදක්වන ලද MIA Diss video දැඩි ලෙස ඉවත් කරන ලදී. බහුතරයක් දෙනා සිතුවේ youtube අඩවිය LTTEයට සහයෝගය දීමක් ලෙස මෙය සිදු කල බවයි. එහෙත් සත්‍යය වන්නේ යූටියුබය එලෙස කලේ MIAගේ ඔරිජිනල් video පටයේ තිබුනු කොටස් සහ සංගීතය DeLon ඒ අයුරින්ම ඔහුගේ diss video පටයේ උපයෝගී කරගෙන තිබුනු නිසයි. එය බුද්ධිමය දේපල පනත යටතේ සිදු කල නොහැක්කකි. මට හැගෙන පරිදි MIA ගේ නොදැනුවත් කම නිසා හෝ DeLon ගේ වාසනාව නිසා හෝ, අන්තර්ජාලයට එම Diss video පටය නිකුත් කල වුන් රාශියක් සිටි නිසා හෝ නීතිමය පියවරක් ගැනීමට MIA උත්සුක නොවීය. කෙසේ හෝ වේවා DeLon විසින් අන්තර්ජාලීය දේශප්‍රේමීන් ලවා කොස් ඇට බා ගත් බව නම් පැහැදිලිය.

අද උදේ මම දුටු Video පටයකින් මාගේ අදහස තව දුරටත් ස්ථිර විය. පහත දක්වෙන්නේ එම දර්ශනයයි.


මෙම video පටයට අනුව DeLon විසින් ලගදීම නව ඇල්බමයක් නිකුත් කිරීමට සැරසෙයි. දැන් ඔහුට ලාංකීය සමාජය තුල ඇත්තේ එයටම සරිලන පිලිගැනීමකි. ලාංකීය, අඩ නින්දේ පසුවන, ලේසියෙන් රැවටිය හැකි, දේෂප්‍රේමීත්වයෙන් ඇස් අන්ධ බහුතරයක් දෙනා හට DeLon යනු සැබෑ මිනිසෙකි – සැබෑ දේෂප්‍රේමියෙකි.  ඔවුන් නොදන්නා කරුණ වන්නේ DeLon විසින් ඔවුන්ව රවටා ඇති බවත්, ඔහුගේ CD පටයට මිලක් නිමකර ඇත්තේ හෙළයන්ගේ ජාත්‍යාලය විකිනීමෙන් බවත්ය.

එනමුත් සෑම විටම උපේක්ෂාවෙන් බලා සිටින ලාංකිකයන් මෙම ක්‍රියාවත් උපේක්ශාවෙන්ම බලා සිටින බව සක්සුදක් සේ මම දනිමි.. මන්දයත්, DeLon විසින් එයටම සරි වටපිටාවක් නිර්මානය කර ඇති බැවිනි. එනම්, බළලා මල්ලෙන් එලියට පැන්නත් ඇස් අන්ධ බැවින් එය නොපෙනෙන බැවිනි.

Older Posts »

Categories