Posted by: quantumx | July 26, 2009

සිවු හෙළ වංශ කතාව – part 1

සිවු හෙළ වංශ කතාවට පෙරවදනක්.

ආර්යයන්ගෙන් සිංහලයින් පැවතෙන බවත්, විජය රජ ඇතුලු ආර්යයන් සත් සියයක් සේනාව සමඟ තම්බපන්ණියට ගොඩ බැස ලංකා ශිෂ්ටාචාරය ආරම්භ කළ බවත්, අපට පාසැලේ දී උගැන්වූ විට එය ගිරවුන් මෙන් කට පාඩම් කල බව අපි දනිමු.
ඊට අමතරව විජය රජ, බැල්ලක විසින් මඟ පෙන්වන ලදුව, කපු කටිමින් සිටි කුවේනිය සරණ පාවා ගෙන ලංකාව පාලනය කල බවත්, විජයගේ සේනාව විසින් අනුරාධගාම, උපතිස්සගාම වැනි නගර පිහිටුවා ගත් බවත්, ගෝකණ්න, මහාතිත්ථ වැනි නැව් තොටුපොළවල් පිහිටවූ බවත් අපි උගත්තෙමු.

ඉහත කරුණු වල සත්‍ය අසත්‍යතාවය ප්‍රශ්න නොකරම මිනිසුන් වළැඳ ගන්නේ ඒවා සඳහන් වන පොත පත පිළිගන්නා ලෙසට අපගේ මානසීකත්වය කුඩා කල සිටම සැදී තිබෙන බැවින් විනා විචක්ශණව තර්ක කර නොවන බව කනගාටුවෙන් වුවද පිළිගත යුතු ය. සැබැවින්ම සිදු වූයේ කුමක් ද? ආර්යයෝ යනු කවරහු ද? විජය ඇත්තෙන්ම ලංකාවට පැමිණ තිබේද? පැමිණියා නම් එතැනින්ද සිවු හෙළ ශිෂ්ටාචාරය ආරම්භ වුනේ? විජය ආක්‍රමණයට පෙර සිවු හෙළයන්ට ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනේම නැද්ද? සිවු හෙළයන් යනු ආර්ය සම්භවයක් ඇති, එම නිසාම ඉන්දීය සම්භවයකින් හෙබි පිරිසක් ද? විජය එනවිට කුවේනිය කපු කටිමින් සිටියේ කුමකින් ද? කුමක්ද අපිට උරුම අපේම අනන්‍යතාවය? කුමක්ද අපට තිබුනු තාක්ශණය?

එකී මෙකී සහ ඇතැම් නොකී ඓතිහාසික කරණු වල සත්‍ය අසත්‍ය තාවය සොයනු වස් කරනා විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක සහා සමාජ විද්‍යාත්මක ගවේශණයක ආරම්භය මෙසේ සටහන් කරමි.

මෙම ලිපි පෙළ නිර්මාණය වනුයේ විවිධ ලේඛකයින් විසින් දශක ගණනාවක් මුළුල්ලේ කරන ලද විද්‍යාත්මක සහ සමාජ/ පුරා විද්‍යාත්මක පර්යේශණ සහ අපේ ප්‍රවාද තුලින් බව මතක් කර සිටිමි. මෙය ඕනෑම වැඩිහිටි කෙනෙකුට වුවද කියවා තේරුම් ගැනීමට පහසු සරළ බසකින් ලියුවද, අ.පො.ස සා/පෙළ සහ උ.පෙළ සිසුන් මෙහි ඇති කරුණු සහා ඉතිහාස පඬිවරුන් ලියූ පාසැල් පෙළ පොත් වල සඳහන් කරුණු පටලවා නො ගත යුතු ය. මන්ද යත්, මෙම ලිපි වල සඳහන් ඇතැම් කරුණු, පෙළ පොත් වල සඳහන් කරුණු වලට තරමක් දුරට පටහැනි බව මම දනිමි. විභාගය සමත් වීමට බේගල් දෙසා බෑව ද සැබෑ ඉතිහාසය දැන ගැනීම සිවු හෙළ අපගේ අනන්‍යතාවය රැක ගැනීමට ඉවහල් වන බවත්, එමඟින් ඇති වන ආත්මාභිමාණය සහ අපේ හැකියාවන් තේරුම් ගැනීම හේතු කොට ගෙන ඉදිරි අනාගතය සුභදායී, ස්වාධීන, දියුණු සහ යහපත් එකක් වනු ඇති බවත් මා හැඟි ඒකායන පැතුම යි.

මෙම ලිපි පෙලෙහි සඳහන් කරුණු හුදෙක් මෙහි සඳහන් වන නිසාම නොව, ඔබගේම මනසින් තර්කානුකූලව සිතා පිළිගැනීමට හැකි නම් පමනක් පිලිගන්නා ලෙස ඉල්ලමි.

අපගේ සැබෑ අනන්‍යතාවය සොයා යන ගමනේදී පිළිගත යුතු වැදගත් කරුණු 3ක් වෙයි.

1. බටහිර විද්‍යාවට ඔබ්බෙන් (beyond western science) දිවෙන අපට උරුම තර්කණ ශෛලියක් තිබෙයි.
බටහිර විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන්නේ ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය ය. එනම් පර්යේශණයක් තුලින් නිඟමණ වලට එළැඹීමට හැකි නම් පමණක් යමක් පිළිගැනීම හෝ යම් කිසි භෞතීක හෝ ස්පර්ශ කල හැකි (tangible) නියැඳියක් තුලින් පමණක් නිඟමණ වලට එළඹීම. මෙම, ඉතා තර්කානුකූළ ක්‍රමයේ වරදක් මම නොදකිමි. එනමුත් එහි අපටම ආවේණික වුනු ජන ප්‍රවාදයන්ට හිමි තැන අහිමි කර ඇත. එනම්, සිවුහෙළයන් ඔවුනට හිමි ජන ප්‍රවාද වල අඩංගු කරුනු, ඔවුනගේ බුද්ධියට ගෝචර වන්නේ නම්, පිළිගැනීමට පසුබට නොවිය යුතුය. උ.දා.: ගලේ බංඩාර දෙවියන්ට මාතලේ/ පොලොන්නරුවේ මිනිසුන් අදටත් වන්දනා මාන පුද කරනුයේ ජන ප්‍රවාද මඟින් ඒවා පැවත ආ නිසා විනා පොත පතක සඳහන් වූ නිසා වත්, විද්‍යාත්මක පර්යේශන මඟින් දේව අනුහස ඔප්පු කර ඇති නිසා වත් නොවෙයි. (මෙම ගලේ බංඩාර දෙවියන් යනු කවරෙක්ද යන වග ඉදිරි ලිපි වළින් විග්‍රහ කරමි). තව දුරටත්, බුදුන්ගේ දේශයේ ජීවත් වන්නේ නම් බුදු දහම පිළිගැනීමත් කළ යුතු ය. “යං භික්ඛවෙ, නත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං නත්ථිති වදාමි, යං භික්ඛවෙ, අත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං අත්ථිති වදාමි” – සංයුක්ත නිකාය, පුප්ඵ සූත්‍රය. එහි අර්ථය වනුයේ, “මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් නැතැයි සම්මත නම් මම ද එය නැතැයි කියමි. මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් ඇතැයි සම්මත නම් මම ද එය ඇතැයි කියමි”.

2. දහ හත සහ දහ අට වැනි සියවස් ලියැවුනු බටහිර ලේඛන සහ පොත පත දැඩි ලෙස ක්‍රිස්තියානිකරණය වීම.
අතීතයේ තිබුනු ප්‍රාථමීක විද්‍යාත්මක දියුණුව නිසා මිනිසා තමුනගේ මනසට ගෝචර නොවන සියල්ලම පාහේ දේව බලය නිසා සිදු වන බව සිතීය. (උ.දා.: අකුණු ගැසීම, වළාකුළු, ඉර, තරු). මෙම ‘දේව’ සහ ‘මැවුම්’ සංකල්පයන් පදනම් කරගෙන මධ්‍යකාලීන බහුතරයක් ලේඛකයන් යුදෙව් ක්‍රිස්තියානි මැවුම් සංකල්පය හමුවේ එල්බගත් ස්වරූපයක් ගත් බව මැක්ස් මුලර් වැනි ගත්කරුවරුන්ගේ ලේඛන වලින් පැහැදිලි වේ. එකල විද්වතුන්ගෙන් බොහෝ දෙනා ඉතිහාසඥයින් වත් පුරා විද්‍යාඥයින් වත් නොව මිශනාරී බලය හමුවේ බටහිර සංස්කෘතිය සහ සමාජ ක්‍රමය පතුරවාලීමට උත්සාහ දැරූ බටහිර හා යුදෙව් ක්‍රිස්තියානි ප්‍රවාහයේ ප්‍රධාන පුරුක් බව ෆ්රෝලි, රාජරාම් ඇතුලු විවිධ ලේඛකයින් විසින් වරින් වර පෙන්වා දී ඇත. මෙම හේතුව නිසාම, පහත තුන් වන කරුණ ගැනත් අප සැළකිලිමත් විය යුතු ය. (එකළ සිටි ස්වාධීන විද්වතුන්ට සාධාරණයක් ඉටු කරනු වස් ඕගස්ට් විල්හෙයිම්, හර්න් හම්බෝල්ට්, ආතර් ස්කෝපනෝර් වැනි අපක්ෂපාතී සාධාරණ විද්වතුන් සිටි බවත් අමතක නොකල යුතු ය).

3. ජීවය මෙලොව ඇති වුනේ ක්‍රි.පූ 4004 ට කලින් වීම.
ඉහත දැක්වූ දෙවන කරුණ මුල් කරගෙන, එකළ පොත පතේ සඳහන් වනුයේ මෙලොව ආරම්භ වුනේ ක්‍රි.පූ 4004 වන බවයි. මේ බව 1654 දී අයර්ලන්තයේ බිශොප් වරයෙකු දැඩි ස්ථාවරයක සිට පවසා ඇත. (ඔහු සඳහන් කර ඇති පරිදි, දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ, ක්‍රි.පූ 4004, ඔක්තෝබර් 23 වැනි දින පූර්ව භාග 9 ට ය.) ක්‍රි.ව. 1654 දී එතුමා කල මෙම නිවේදනයෙන් පසුව 17 වැනි සියවසෙන් පසුව ඉතා මෑත කාලයක් දක්වාම ලියැවුනු පොත පත ලෝකයේ ආරම්භය ක්‍රි.පූ 4004හි පිහිටුවයි. එනමුදු දැන් විද්‍යාත්මකව සොයා ගෙන ඇති කරණු අනුව අපට ගම්‍ය වන්නේ මෙලොව ආරම්භය ඊට ඉතාමත් කලින් සිදු වූ බවයි. එබැවින්, 17 හා 18 සියවස් වල ලියැවුනු ග්‍රන්ථ භාවිතයේ දී ඉතාමත් සැළකිලිමත් විය යුතු ය. එසේම, ලෝකය සහ මානව ශිෂ්ටාචාරයන් බිහි වුනේ ඊට කලින් (ක්‍රි.පූ 4004 ට පෙර) බවත් සාධක සහිත නම් පිළිගැනීමට මැලි නොවිය යුතු ය.

ඉහත කරුණු තුනටම පොදු කරුණ වන්නේ අප, අපගේ මතයන් දැඩි ලෙස බටහිර ආභාශිත කර ගැනීම යි. බටහිර විද්‍යාඥයින් පවා ඔවුන්ගේ මතයන් දහ නව වන සියවස තුළ දී නිවැරදි කර ගත්තද අපි තවමත් ඔවුන් විසින් ‘දායාද කළ’ වැරදි මතයන් තුළම එල්බ සිටින්නේ ඇයි?
ක්‍රිස්තියානි සභාව පවා අද පරිණාමය පිළිගනිත්දී, අපි තවමත් යුදෙව් අන්ධ කිතුනු භක්තික ආචාර්ය මහාචාර්යවරු එදා ලියූ දේවල් තුළම එල්බ සිටින්නේ ඇයි? එවැනි ලේඛන වල ආභාශය ලබා සහ ඒවා මූලාශ්‍ර කොට ගෙන ලියැවුනු මහාවංශයේ ‘ඇතැම් පරිඡ්චේද’ තුළම එල්බ සිටින්නේ ඇයි?

අපේ ශිෂ්ටාචාරය ගවේශනයේදී අපට අනෙකුත් ශිෂ්ටාචාර හැදෑරීම ද කල යුතුය. ඊලඟ ලිපියෙන් ලොවෙහි ආරම්භය සැකෙවින්, යුප්‍රටීස්-ටයිග්‍රීස් ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න, නයිල් නිම්න ශිෂ්ටාචාර සහ අනෙකුත් පුරාතන ශිෂ්ටාචාර ගැන සළකා බලමු.

ස්තූතියි.

ධනුෂ්ක ද සිල්වා [විද්‍යාවේදී, විද්‍යාපති], තොරතුරු සහ සන්නිවේදන තාක්ශණ අංශය, දකුණු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය.

මූලාශ්‍ර:
Giri, S B V 2000, ‘The Myth of Aryan Invasion’.
Frawley, D, ‘Gods, Sages and Kings’.
Rajaram, N S, ‘Aryan Invasion of India: The myth and the truth’.
Agraval, D, ‘Aryan Invasion/ Race theory’, Penn State University, The USA.

පසු වදන:
මෙම ලිපි පෙළ කිසිම ආගමකට, ජාතියකට හෝ රටකට නිග්‍රහ කිරීමට ගන්නා වෑයමක් නොවන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි. තවද මෙම ලිපි පෙළ විවෘත මනසකින් යුක්තව කියවන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

මෙම ලිපි පෙළ නිර්මාණයේදී නන් අයුරින් සහය පළ කල / කරන අමිල සොයුරාටත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදී පැහැදී සිටින මාගේ ජීවන සහකාරියටත්, නන් අයුරින් උදවු කල සොයුරු සොයුරියන් සියල්ලටත් හද පිරි ආදරය සහ තුති පුදමි.


Responses

  1. කෝ බන් තව නැද්ද?

  2. great effort තව නැද්ද?

  3. ko ituru kali ???

  4. බටහිර උදවිය තවමත් විශ්වාස කරන්නේ ලෝකයේ ජීවය ආරම්බවූයේ 4004 යැයී කීම වැරදිය. නමුත් කිරිමුහුද ගැන විශ්වාශකරන ඉන්දියාවේ උදවිය මෙන්ම, කතාකරන නයී ගැන විශ්වාස කරන උදවියත්, සල්වනයක පිපිනු නෙලුම් මල් ගැන විශ්වාස කරන උදවියත් ලෝකයේ ඇත.

    අපේ ඉතිහාසය ගැන විවුර්තව අධ්‍යනයක යෙදීමනම් මනරම්ය. රසවත් අදහස් කියවීමට ඉදිරියේදී බලා පොරොත්තු වෙමී.

  5. යතාර්ථය හෙළි කිරීමට ඔබ ගන්න ක්‍රියාමාර්ගය මා ඉතා අගය කොට සිටිමි…… මට සිතට වැඩ දෙන ප්‍රශ්නයක් ඇත එයට ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි…. ලබාදිය හැකිනම් බොහෝ ස්තුතිවන්ත වෙමි…. හෙළ ගොවිතැන, හෙළ වෙදකම යන්න මා දන්නා ආකාරයට රාවණා රජුගේ කාලයේ සිට අපට උරුම වූ දැනුමකි. මෑතක් වන තුරුම අප රටේ හෙළ ගොවිතැන බහුලව පැවත ඇති අතර මෙහි සිටි ගොවිතැන ජීවිකාව කරගත් මුස්ලිම් ජාතිකයන් හා දමිළ ජාතිකයන් හෙළ ගොවිතැන හා හෙළ වෙදකම භාවිතා කල බව මගේ දැනීමයි… තවද එය ඔවුනට ජාති භේදයක් මතු කරේද නැත….. නමුත් වර්තමානයේ පවතින තත්වය අනුව හෙළ ගොවිතැන ප්‍රචලිත කිරීම වෙනත් ආකාරයකින් ජාතිවාදය ඇවිස්සීමක් යැයි තවත් පිරිසක් ප්‍රකාශ කරයි…. ” හෙළ” යන වචනය භාවිතය එවැනි දෙයක් මතු කරයිද???? ඔබට ජය….


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: